මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම මිනුම්දණ්ඩක් බඳු වූ කොළඹ ජාතික රෝහලේ රෝගී ප්‍රතිකාර සේවා, පරිපාලන ගැටලු සහ පවතින අඩුපාඩු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රෝහල් කළමනාකරණ රැස්වීමක් පසුගියදා ජාතික රෝහලේ අපස්මාර ප්‍රතිකාර මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජාතික රෝහල යනු ආදර්ශවත්, කාර්යක්ෂම සහ රෝගී සුරක්ෂිතතාව උපරිමයෙන් පවතින ආයතනයක් විය යුතු බවත්, එහි වගකීම රෝහලේ සේවය කරන සියලුම සෞඛ්‍ය වෘත්තිකයන් සතු වන බවත්ය. ඖෂධ සහ හදිසි මිලදී ගැනීම් සඳහා වෙනත් වසරවලට වඩා වැඩි මුදලක් වෙන් කර තිබියදීත්, රෝහල තුළ වරින් වර ඖෂධ හා උපකරණ හිඟයක් පවතින බවට ලැබෙන පැමිණිලි පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී විශේෂ අවධානයක් යොමු කරමින් එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා සිටියේය. නිදහස් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය තීරණය කරන්නේ රෝහල භාවිත කරන පොදු මහජනතාව බව ද ඔහු අවධාරණය කළේය.
විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සේවකයන් ඉදිරිපත් කළ ගැටලුවලින් කිහිපයකට නියෝජ්‍ය අමාත්‍යවරයා එම අවස්ථාවේදීම විසඳුම් ලබා දුන් අතර, සෙසු පරිපාලන හා මානව සම්පත් ගැටලු අවම කරගනිමින් රෝගී සත්කාරක සේවා අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය මඟපෙන්වීම් ලබා දුන්නේය. මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් මහත්මිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
















