ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ ආරාධනයකට අනුව ඉන්දියාවේ නිල සංචාරයකට එක් වූ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිත පිරිස පසුගියදා (16) සාර්ථක සංචාරයකින් අනතුරුව යළි දිවයිනට පැමිණියහ. දෙරට අතර පවතින දිගුකාලීන පාර්ලිමේන්තු, සංස්කෘතික හා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමත්, කාන්තා සවිබල ගැන්වීම සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී පාලනයක් ඇති කිරීම සඳහා සහයෝගීතාව වර්ධනය කර ගැනීමත් මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය.
කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය ඇතුළු රෝහිණී කුමාරි විජේරත්න, ඔෂානි උමංගා, ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි, චමින්ද්‍රානි කිරිඇල්ල, නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි, නිලූෂා ලක්මාලි ගමගේ, තුෂාරි ජයසිංහ, අනුෂ්කා තිලකරත්න, ඒ.එම්.එම්. රත්වත්තේ, හසාරා ලියනගේ, අම්බිකා සැමුවෙල්, ලක්මාලි හේමචන්ද්‍ර සහ ගීතා හේරත් යන මන්ත්‍රීවරියන් මෙම නියෝජිත පිරිසට ඇතුළත් වූහ. මීට අමතරව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටියහ.
සංචාරය අතරතුර ලෝක් සභාවේ (ඉන්දීය පාර්ලිමේන්තුවේ) කථානායක ඕම් බිර්ලා මහතා හමු වූ නියෝජිත පිරිස, අන්තර්-පාර්ලිමේන්තු සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළහ. එමෙන්ම ඉන්දීය කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍ය අන්නපූර්ණා දේවී මහත්මිය හමු වී ළමා සුභසාධනය හා ප්‍රතිපත්ති පිළිබඳවත්, දිල්ලි පොලිස් කොමසාරිස්වරයා හමු වී කාන්තාවන්ට හා ළමුන්ට එරෙහි අපරාධ වැළැක්වීමේ ආරක්ෂණ යන්ත්‍රණ පිළිබඳවත් ඵලදායී අදහස් හුවමාරු කරගත්හ. මීට අමතරව නවදිල්ලි මහඇමතිවරයා, කාන්තා ස්වයං සහාය කණ්ඩායම් (Self-Help Groups) සහ FICCI FLO සංවිධානය සමඟ සාකච්ඡා පැවැත්වූ ඔවුහු, අග්‍රා නුවර පිහිටි ලෝක පූජිත ටාජ් මහල් සහ අග්‍රා කොටුව ඇතුළු ඓතිහාසික ස්ථාන නැරඹීමට ද එක්වූහ.















