බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇති කැමැත්ත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බව ඊයේ (17) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
තමන් දැනට දරන විදේශ සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත භූමිකාව සහ පවුලේ වගකීම් සමබරව පවත්වාගෙන යාමේදී මතුවන දිනෙක අභියෝග සැලකිල්ලට ගනිමින් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඔහු පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුකාරවරයෙකු පත් කරන තෙක් තමන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රාජකාරි කටයුතු අඛණ්ඩව සිදුකරන බව ද ඒ මහතා සඳහන් කළේය.
ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වුවද, ශ්‍රී ලංකාවට විදේශීය ඍජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් ජනාධිපති විශේෂ නියෝජිතයා ලෙස දැනට තමන් දරන ස්වේච්ඡා තනතුරේ තවදුරටත් රැඳී සිටිමින් රටට සේවය කරන බව හනීෆ් යූසුෆ් මහතා අවධාරණය කරයි. රට වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාව ලබාදීම සහ තමා කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව ඔහු ජනාධිපතිවරයා වෙත සිය කෘතඥතාව ද පළ කර සිටියි.
















