මී උණ (ලෙප්ටොස්පයිරෝසිස්), රුධිර පිළිකා සහ තැලසීමියා ඇතුළු බරපතළ රෝගාබාධවලින් පෙළෙන රෝගීන්ගේ ප්‍රතිකාර සේවා සඳහා යොදා ගනු ලබන රුපියල් මිලියන 50කට (කෝටි 5කට) අධික වටිනාකමකින් යුත් අතිනවීන රුධිර ප්ලාස්මා හුවමාරු යන්ත්‍ර දෙකක් (Com.Tec MultiProcedural Machine) මෙරට සෞඛ්‍ය පද්ධතිය වෙත පරිත්‍යාග කර තිබේ. ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් (Premium International) පෞද්ගලික සමාගම විසින් මෙම පරිත්‍යාගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
ජර්මනියේ නිෂ්පාදිත මෙම අතිනවීන වෛද්‍ය උපකරණ මඟින් ප්ලාස්මා දේහ විච්ඡේදනය (Plasmapheresis) ප්‍රතිකාර ක්‍රමය හරහා මෙරට බහුලව වාර්තා වන රෝගී තත්ත්ව රැසකට සාර්ථකව ප්‍රතිකාර කළ හැකිය. විශේෂයෙන්ම මී උණ වැළඳුණු රෝගීන්ට, සර්ප දෂ්ටනයට ලක්වූවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග පාලනය කිරීමට මෙන්ම අවයව බද්ධ කිරීමට පෙර සහ පසු රෝගීන්ට අවශ්‍ය විශේෂිත සත්කාර සැපයීමට මෙම යන්ත්‍රය භාවිත කෙරේ. තවද, රුධිර පිළිකා සහ තැලසීමියා රෝගයෙන් පෙළෙන, සෛල බද්ධ කිරීමේ (Bone Marrow/Stem Cell Transplant) සැත්කම් අපේක්ෂාවෙන් පසුවන කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ද මෙම උපකරණ සෘජුවම දායක වේ.
ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් සමාගමේ අධ්‍යක්ෂ මහේෂ් ප්‍රනාන්දු සහ සාමාන්‍යාධිකාරී අචල මෝසස් යන මහත්වරුන් විසින් මෙම යන්ත්‍ර අමාත්‍යවරයා වෙත භාරදුන් අතර, මෙරට බලයලත් විකුණුම් සහ සේවා නියෝජිතයා ලෙස මෙම යන්ත්‍ර සඳහා අඛණ්ඩ නඩත්තු සේවාවක් සැපයීමට සමාගම බැඳී සිටින බව ද ඔවුහු සඳහන් කළහ. මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් රජය වාර්ෂිකව අතිවිශාල මුදලක් වැය කරන පසුබිමක, රජයේ සේවාව තවත් ශක්තිමත් කිරීමට පෞද්ගලික අංශයෙන් ලැබෙන මෙවැනි ප්‍රදානයන් ඉතා වැදගත් වන බව පවසමින් සිය කෘතඥතාව පළ කළේය. ජාතික රුධිර පාරවිලන සේවය (NBTS) හරහා දැනටමත් මෙවැනි යන්ත්‍ර 19ක් දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල සාර්ථකව භාවිත වන බව ද මෙහිදී අනාවරණය විය.
















