වනාතවිල්ලුව, මොරපතාව, කාටුපුලියන්කුලම ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසක සඟවා තිබූ දැඩි ආරක්ෂිත දිවියකුගේ සමක්, ගිනි අවි සහ පතොරම් තොගයක් වනාතවිල්ලුව බීට්ටු වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (17) සිදුකළ හදිසි වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු රහසිගත තොරතුරකට අනුව වනජීවී නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී දැඩි ආරක්ෂිත ගණයට අයත් වනජීවී සතෙකු වන දිවියකුගේ සමක්, බෝර 12 ගිනි අවියක් සහ පතරොම් බඳින තුවක්කුවක් ඇතුළු උපකරණ රැසක් සොයා ගැනීමට හැකිව ඇත. වනජීවී නිලධාරීන් නිවස පරීක්ෂා කරන අවස්ථාවේදී මෙම ගිනි අවි කිසිදු බියකින් තොරව නිවසේ බිත්තිවලට හේත්තු කර තිබූ බව ද පැවසේ.
අදාළ කෝටිපති ව්‍යාපාරිකයා විශාල ඉඩම් හිමි වැවිලිකරුවෙකු වන අතර, ඔහු විනෝදාංශයක් ලෙස සතුන් දඩයම් කිරීමේ නිරත වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණි. වැටලීමේදී මෙම ව්‍යාපාරිකයා සමඟ ඔහුගේ සහෝදරයා ද වනජීවී අත්අඩංගුවට පත්ව ඇත. මොවුන් වයස අවුරුදු 55 සහ 61 යන වයස් සීමාවල පසුවන කාටුපුලියන්කුලම ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.
වනජීවී නිලධාරීන් විසින් සොයා ගන්නා ලද දිවි සම පරීක්ෂා කිරීමේදී එය ඉතා දැවැන්ත දිවියකුගේ බවට තහවුරු වී ඇත. මෙවැනි විශාල දිවියන් ප්‍රධාන වශයෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ පමණක් දිවි ගෙවන බැවින්, මෙම සත්ත්වයා විල්පත්තුව වනාන්තරය තුළදී මරා දමන්නට ඇති බවට දැනට සිදුකළ මූලික පරීක්ෂණවලදී සැක කෙරේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. වනාතවිල්ලුව වනජීවී කාර්යාලයේ වන සත්ත්ව නියාමක ටී.එම්.සී.ඩී. තිලකරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් මෙම වැටලීමට එක්ව සිටියහ.
















