ඩීසල් ලීටරයක් රුපියල් 720 බැගින් මිලට ගෙන ජනතාවට ඊට අඩු මුදලකට අලෙවි කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ ප්‍රකාශය දැඩි ප්‍රශ්න කිරීමකට ලක්කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (FSP) අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. ස්වර්ණවාහිනී නාලිකාවේ ‘රතු ඉර’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා පෙන්වා දුන්නේ මෙරට ඛනිජ තෙල් වෙළඳපොළ තුළ රජයේ සිපෙට්කෝ (ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව) ආයතනයට අමතරව ලංකා IOC සහ සිනොපෙක් (Sinopec) වැනි ජාත්‍යන්තර පෞද්ගලික සමාගම් ද ඩීසල් අලෙවි කරන බවයි. ජනාධිපතිවරයා කියන ආකාරයට ඩීසල් ලීටරයක සැබෑ පිරිවැය රුපියල් 720ක් නම්, මෙම පෞද්ගලික සමාගම් ද රුපියල් 720ට ඩීසල් මිලට ගෙන මෙරට ජනතාවට ‘දන්සැල්’ දෙමින් රුපියල් 392 වැනි අඩු මිලකට අලෙවි කරන්නේ දැයි ඔහු ප්‍රශ්න කළේය.
කිසිදු පෞද්ගලික සමාගමක් පාඩු පිට භාණ්ඩ අලෙවි නොකරන බවත්, වත්මන් මිල යටතේ පෞද්ගලික සමාගම් ඩීසල් විකුණා ලාභ ලබන්නේ නම් රජයේ සිපෙට්කෝ ආයතනයට පමණක් පාඩු සිදුවන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතු බවත් ඔහු පැවසීය. සිපෙට්කෝ සභාපතිවරයා විසින් මීට පෙර ප්‍රකාශ කරන ලද දත්ත අනුව ඩීසල් ලීටරයක නියම පිරිවැය රුපියල් 320 ඉක්මවා නොයන බව ද ජයගොඩ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
















