දකුණු කොරියාව සමඟ පවතින ඉදිරිපෙළ දේශසීමා කලාපීය හමුදා බලඇණි තවදුරටත් ශක්තිමත් කිරීම “යුද්ධයක් වළක්වා ගැනීම සඳහා” අත්‍යවශ්‍ය සාධකයක් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රකාශ කර ඇති බව එරට ‘KCNA’ රාජ්‍ය මාධ්‍ය අද (18) වාර්තා කළේය.
පසුගිය ඉරිදා (මැයි 17) උතුරු කොරියානු හමුදාවේ සියලුම බලඇණි සහ බලසේනා ප්‍රධානීන් (Division and Brigade Commanders) සමඟ පැවැති විශේෂ හමුවකදී කිම් ජොන් උන් මෙම අදහස් දක්වා තිබේ. එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ නූතන යුද උපක්‍රමවල සිදුවී ඇති වෙනස්වීම්, එනම් ඩ්‍රෝන තාක්ෂණය, නිරවද්‍ය ප්‍රහාර (Precision Strikes) සහ ඉලෙක්ට්‍රොනික යුද ක්‍රමවේදයන් (Electronic Warfare) සැලකිල්ලට ගනිමින් උතුරු කොරියානු හමුදාවේ පුහුණු පද්ධති සහ ප්‍රායෝගික අභ්‍යාස වහාම වෙනස් කළ යුතු බවයි. තවද, තම ප්‍රධාන සතුරා වන දකුණු කොරියාවට එරෙහිව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ඔහු නියෝග කර ඇත.
දකුණු කොරියානු ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශ කරන්නේ කිම් ජොන් උන් බලයට පත්වීමෙන් පසු මෙවැනි හමුදා ප්‍රධානීන්ගේ රැස්වීමක් ඇමතූ පළමු අවස්ථාව මෙය බවයි. එසේම පසුගිය මාර්තු මාසයේ සිට උතුරු කොරියානු හමුදාව දේශසීමා අසල තාප්ප ඉදිකරමින් ආරක්ෂක විධිවිධාන තර කර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ තහවුරු කරයි.
















