මීට වසරකට පෙර තම හොඳම මිතුරාගේ ජංගම දුරකථන යෙදවුමක් (App) මාර්ගයෙන් රුපියල් 65,000ක මුදලක් වංචා කළ ද, සැකකරුට මාස තුනක බිළිඳු දරුවකු සිටින බැවින් මානුෂීය ලෙස සලකා පැමිණිලිකාර මිතුරා විසින් එම වංචාවට සමාව දී තිබුණි. කෙසේ වෙතත්, ඉන් කිසිදු පාඩමක් ඉගෙන නොගත් මෙම 33 හැවිරිදි මල්වල, ඕළුගල ප්‍රදේශයේ පදිංචි සැකකරු වසරකට පසුව නැවත වරක් එම මිතුරාගේම ආයතනයේ නවතා තිබූ යතුරුපැදියේ තිබූ මුදල් පසුම්බිය සොරකම් කර ඇත. පසුව එහි තිබූ බැංකු කාඩ්පත (ATM Card) භාවිත කර රත්නපුර ප්‍රදේශයේ ඉන්ධන හලකින් රුපියල් 1,000ක පෙට්‍රල් ද, තවත් ඉන්ධන හලකින් බුලියකට රුපියල් 16,000ක ඉන්ධන ද ලෙස සමස්තයක් ලෙස රුපියල් 17,000ක ඉන්ධන වංචනික ලෙස ලබාගෙන තිබේ. මුදල් පසුම්බිය අතුරුදන් වීම පිළිබඳව ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ රත්නපුර පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ නිලධාරීන්, ඉන්ධන හල්වල සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධති පරීක්ෂා කර සැකකරුවාව සාර්ථකව අත්අඩංගුවට ගෙන ඉකුත් 17 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර රත්නපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














