මෙරට මිරිදිය ඉස්සන් කර්මාන්තය නවීන තාක්ෂණය ඔස්සේ ඉහළ අස්වැන්නක් ලබන වාණිජමය ව්‍යාපාරික ක්ෂේත්‍රයක් බවට පත් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ජනාධිපතිවරයා විසින් 2025 අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. මෙතෙක් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව ඉස්සන් පසු-කීටයන් (Post Larvae) සෘජුවම ජලාශවලට මුදා හැරීම වෙනුවට, එම කීටයන් ජලාශය තුළම විශේෂයෙන් සකස් කළ කූඩු තුළ රඳවා මාසයක පමණ කාලයක් පූර්ව වර්ධනයක් (Pre-growing) ලබා දීමෙන් පසුව ජලාශයට මුදා හැරීම මෙම නව ක්‍රමවේදයේ විශේෂත්වයයි. ඒ අනුව, මිරිදිය ඉස්සන් වගා කරන ප්‍රධාන ජලාශ ආශ්‍රිතව පර්යේෂණ මට්ටමේ කූඩු 25ක් ස්ථාපිත කිරීමට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) පියවර ගෙන ඇත.
දැනටමත් ගිරිතලේ වැව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් දෙකක් සහ උතුරු පළාතේ වැව් දෙකක් ආශ්‍රිතව මෙම පර්යේෂණාත්මක ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ. මීට පෙර ඉස්සන් කිලෝවක අස්වැන්නක් ලබා ගැනීම සඳහා කීටයන් 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් වැව්වලට දැමීමට සිදු වූ නමුත්, මෙම නව ‘කූඩු ක්‍රමය’ හරහා මාසයකට පසුව අඟල් 1.5 සිට 2 දක්වා වර්ධනය වූ ඉස්සන් මුදා හැරීම නිසා, වැඩුණු ඉස්සන් පැටවුන් 100කින් පමණ ඉස්සන් කිලෝවක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙමඟින් මිරිදිය ඉස්සන් කර්මාන්තයේ කාර්යක්ෂමතාව තෙගුණයකින් ඉහළ යනු ඇත. මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය හමුවේ පෞද්ගලික අංශය සහ පළාත් සභා ද මීට සක්‍රීයව දායකත්වය ලබා දෙමින් සිටින අතර, ඌව සහ දකුණු පළාත් සභා ද තම පළාත් තුළ මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. මෙම නව තාක්ෂණික මැදිහත්වීම හරහා මිරිදිය ධීවර කාර්මිකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි වනු ඇතැයි ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් අපේක්ෂා කරයි.
















