වර්තමාන ශ්‍රී ලංකාවේ මනෝවිද්‍යා උපදේශන සේවාවන් (Counseling Services) තුළ බරපතළ ගුණාත්මක සහ වෘත්තීයමය ගැටලු පවතින බවත්, නිසි ප්‍රමිතියකින් තොරව ක්‍රියාත්මක වන ඇතැම් උපදේශන සේවාවන් ලබා නොගැනීමට මහජනතාව වගබලා ගත යුතු බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ අද (18) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී (SLFI) පැවැති “මනෝවිද්‍යා උපදේශන සේවාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීමේ” විශේෂ සම්මන්ත්‍රණය අමතමිනි. අදාළ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන උපදේශන අංශය මඟිනි.














