ත්‍රිකුණාමලය – අඹේපුස්ස ප්‍රධාන මාර්ගයේ තඹලගමුව පොලිස් වසමට අයත් කිලෝමීටර් 174 කණුව ආසන්නයේදී ඊයේ (17) දින පස්වරුවේ සිදුවූ දරුණු රිය අනතුරකින් 78 හැවිරිදි වියපත් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව තඹලගමුව පොලිසිය පවසයි.
අනතුර පිළිබඳව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ත්‍රිකුණාමලය දෙසට අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක්, එම දිශාවටම ඉදිරියෙන් ගමන් කරමින් තිබූ පාපැදියක පිටුපසින් පාලනය කරගත නොහැකිව ඉතා දරුණු ලෙස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ලේ ගලමින් සිටි පාපැදිකරුවාව ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරීන් එක්ව වහාම තඹලගමුව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්ත ද, රෝහලට ඇතුළත් කිරීමටත් පෙරම ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. අනතුර සිදුකළ ලොරි රථයේ රියැදුරු සහ ලොරි රථය මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම සහ අනතුරක් සිදුකර ජීවිත හානියක් සිදුකිරීමේ චෝදනා යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. තඹලගමුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සක්‍රියව සිදුකරනු ලබයි.














