ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ (Student Parliament) ඓතිහාසික මංගල සභාවාරය, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පසුගියදා (14) ඉතා සාර්ථකව පැවැත්විණි. මෙම සුවිශේෂී අවස්ථාව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන් ගමගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කමල් ආරියසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වර්ණවත් විය. ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය ශිෂ්‍යාවන්ට මෙරට පාර්ලිමේන්තු ක්‍රමවේදය (Parliamentary Procedures) සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම අරමුණු කොටගෙන, එම විද්‍යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම විශිෂ්ට නායකත්ව වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙහිදී සභාව අමතමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන් ගමගේ මහතා සඳහන් කළේ, ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මඟින් අනාගත ලෝකයට ගැළපෙන නායකත්ව ගුණාංග සහ විශාල අත්දැකීම් සමුදායක් දරුවන්ට උපයා ගත හැකි බවයි. රටේ ජාතික නාස්තිය අවම කිරීම සම්බන්ධයෙන් රටේ අනාගතය භාර ගැනීමට සිටින මෙම දරුවන් තුළ මනා අවබෝධයක් පැවතිය යුතු බව පෙන්වා දුන් ඒ මහතා, ජනාධිපති අරමුදල (President’s Fund) මඟින් ජනතාවට සිදුවන සේවාවන් පිළිබඳව ද සිසුවියන් දැනුවත් කළේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කමල් ආරියසිංහ මහතා දරුවන් අමතමින් ශිෂ්‍ය අවධියේ සිටම නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ අතර, රජය මඟින් ක්‍රියාවට නංවන සුවිශේෂී “ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri Lanka) වැඩසටහන පිළිබඳව දරුවන් දැනුවත් කිරීමට පියවර ගත්තේය.















