අද (18) දිනට යෙදෙන 17 වන ජාතික රණවිරු සැමරුම් දිනය (National War Heroes Commemoration Day) අභිමානවත් අයුරින් නිමිති කරගනිමින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර රණවිරුවන් 5,289 දෙනෙකු සඳහා ඔවුන්ගේ ඊළඟ උසස් නිලයන් වෙත උසස්වීම් පිරිනමා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කරයි.
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති බිහිසුණු ත්‍රස්තවාදය මුලිනුපුටා දමා, මව්බිම තුළ තිරසාර සාමකාමී මෙන්ම නිදහස් යුගයක් උදාකරලීම උදෙසා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් දිවි පරදුවට තබා ඉටුකරන ලද අමිල මෙන්ම අසමසම ඓතිහාසික සේවය අගය කරමින් උපහාර පිදීම වෙනුවෙන් මෙම විශේෂ නිල උසස්වීම් පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව යුද, නාවික සහ ගුවන් හමුදා බලඇණි නියෝජනය කරන නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් රැසකටම මෙම උසස්වීම් හිමිව ඇත.














