ඉන්දියාව විසින් සීනි අපනයනය තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය හේතුවෙන් බ්‍රසීලය, තායිලන්තය සහ යුරෝපා රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. පසුගිය මැයි 15 වනදා සිට ලබන සැප්තැම්බර් 30 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි ඉන්දියාව මෙම තහනම පනවා ඇති අතර ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සීනි සැපයූවේ ඉන්දියාව බැවින් මෙම තත්ත්වය හමුවේ නව සැපයුම්කරුවන් වෙත යොමු වීමට සිදුව ඇත. කෙසේ වෙතත් මේ වන විට මෙරට තුළ ප්‍රමාණවත් සීනි තොග පවතින බැවින් වෙළෙඳපොළේ කිසිදු හිඟයක් ඇති නොවන බවත් කඩිනමින් නව තොග ඇණවුම් කිරීමට සැලසුම් කර ඇති බවත් එම සංගමය අවධාරණය කරයි.
මේ අතර වෙළෙඳපොළේ සීනි මිලෙහි යම් ඉහළ යාමක් නිරීක්ෂණය වුවද, එය ඉන්දියාවේ අපනයන තහනම නිසා සිදු වූවක් නොව රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් සිදු වූ මිල සංශෝධනයක් බව ආනයනකරුවන් පෙන්වා දෙයි. පවතින තත්ත්වය කළමනාකරණය කරමින් ජනතාවට අඛණ්ඩව සීනි සැපයුම ලබා දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටී.














