අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අනු/MCI/PC/22424/26-B දරන ළමා අපයෝජන නඩුවේ වින්දිත දරුවා වෙනුවෙන් පෙනී සිටීමට ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු පත් කරන ලෙස ඉල්ලමින් ළමා හිංසනය නැවැත්වීමේ භාරයේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය නීතිපති පාරින්ද රණසිංහ මහතා වෙත හදිසි ලිපියක් යොමු කර තිබේ. මෙම නඩුවේ සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරුන් 30කට අධික පිරිසක් ඉදිරිපත් වී සිටින පසුබිමක, අගතියට පත් අහිංසක දරුවාගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා මැදිහත් වන ලෙස එම ලිපිය මගින් අවධාරණය කර ඇත.
පවතින තත්ත්වය මත වින්දිත දරුවාට යුක්තිය ඉටු වීම පිළිබඳව සාධාරණ සැකයක් පවතින බව පෙන්වා දෙන වෛද්‍ය වික්‍රමනායක මහත්මිය, ලබන මැයි 22 වනදා පැවැත්වීමට නියමිත මීළඟ නඩු වාරයට පෙර මේ සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු පත් කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටී. වින්දිත දරුවාගේ ආරක්ෂාව සහ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව මෙමගින් වැඩිදුරටත් අවධාරණය කෙරේ.














