දිවයින පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, මේ වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් 29,589 දෙනෙකු වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. රෝගය වැළඳීමෙන් මේ වන විට පුද්ගල මරණ 15ක් සිදුව ඇති අතර දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 39ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ. පවතින අවදානම් තත්ත්වය හමුවේ දින දෙකකට වඩා උණ රෝග ලක්ෂණ පවතී නම්, වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඩෙංගු මර්දනය සඳහා විශේෂ පියවර ගනිමින් සිටින සෞඛ්‍ය අංශ, මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු නොකර පවත්වාගෙන යන පුද්ගලයින්ට සහ ආයතනවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කරයි. විශේෂයෙන් වර්ෂා සහිත කාලගුණයත් සමඟ මදුරුවන් බෝවීම ඉහළ යා හැකි බැවින් තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට උපරිම සහාය ලබා දෙන ලෙස සෞඛ්‍ය අංශ වැඩිදුරටත් මතක් කර දෙයි.














