මෙතෙක් ආදායම් බදු නොගෙවා පැහැර හැර ඇති පිරිස් සඳහා මාස හයක කාලයක් ඇතුළත එම බදු මුදල් පියවීමට කටයුතු කරන්නේ නම්, ඊට අදාළ සම්පූර්ණ පොලී මුදල අහෝසි කිරීමට පියවර ගන්නා බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේදී අද (19) දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ආරම්භ කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මීට අදාළ විශේෂ සහනදායී විධිවිධාන නව පනත් සංශෝධනයට ඇතුළත් කර ඇති බවයි. බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන් සහ ආයතන කඩිනමින් බදු ක්‍රියාවලියට දායක කරගනිමින් රාජ්‍ය ආදායම ක්‍රමවත්ව උපයා ගැනීම මෙම නව සංශෝධනයේ ප්‍රධාන අරමුණ වී තිබේ.














