රජරට විශ්වවිද්‍යාලයේ පවතින උග්‍ර නේවාසිකාගාර හිඟයට කඩිනම් සහ ස්ථිර විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ට බලකරමින් අද (19) පස්වරු 4:00ට විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා පැවැත්වීමට සිසුන් කටයුතු සූදානම් කර තිබේ.
මහා ශිෂ්‍ය සංගමය ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමස්ත සිසුන් 8,000ක පිරිසෙන් 4,000කට ආසන්න පිරිසකට මේ වන විට කිසිදු නේවාසිකාගාර පහසුකමක් (Hostel Facilities) නොමැතිව දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇති බවයි. බාහිර නවාතැන්පොළවල් සඳහා පවතින අධික පිරිවැය සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද ඉන් දැඩි බාධා එල්ල වී ඇත.
“රජරට සිසුන් මහමඟ නොතබා සියලු සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබාදෙනු!” යන ප්‍රධාන තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය කර ඇත. සිසුන් පවසන්නේ තමන්ගේ මූලික අයිතිවාසිකම් දිනාගන්නා තෙක් මෙම අරගලය අත්නොහරින බවයි.
















