ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා හොංකොං රක්ෂණ අධිකාරිය සමඟ සම්බන්ධීකරණ ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමිව ඇත.
මෙරට මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ක්‍රියාකාරී සැලැස්මේ වැදගත් පියවරක් ලෙස, විදේශීය පාර්ශ්වකරුවන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණකි. ආසියානු කලාපයේ රක්ෂණ අධීක්ෂණ බලධාරීන් අතර ඵලදායී සහයෝගිතාවක් වෙනුවෙන් හොංකොං රක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් මෙම මණ්ඩලය පිහිටුවා ඇත. මෙම නව ගිවිසුම හරහා AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය දරන අනෙකුත් ජාත්‍යන්තර රක්ෂණ නියාමන ආයතන සමඟ ද වැදගත් අධීක්ෂණ තොරතුරු ඵලදායී ලෙස හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසේ.














