සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘Take Care – සුරැකෙමු මගතොට’ ව්‍යාපෘතිය දෙදහස් විසිහය වසරේ සිට දෙදහස් විසිඅට වසර දක්වා තවදුරටත් වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන අටසිය තිස්තුනක (833) මුදලක් සලසා ගනිමින් ඉදිරි වසර තුන සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දෙදහස් විසිපහ වසරේදී දිවයිනේ පාසල් හැටක් ආවරණය කරමින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන, ඉදිරි වසරවලදී ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව වසරකට පාසල් සියය බැගින් සම්බන්ධ කර ගනිමින් දීපව්‍යාප්තව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. පාසල් දරුවන් සහ සමස්ත සමාජය තුළ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙමඟින් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරේ.














