දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා සහ අන්‍යෝන්‍ය මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් අමර් ප්‍රීත් සිං මහතා ඊයේ (18) රාත්‍රී කාලයේදී නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මෙම සංචාරය කලාපීය ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම උදෙසා ගනු ලැබූ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානීයා අද (19) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක බලකා (IPKF) ස්මාරකය වෙත ගොස්, එහිදී ජීවිත පූජා කළ සෙබළුන් වෙනුවෙන් පුෂ්පෝපහාර දක්වමින් සිය ගෞරවය පුද කිරීමට කටයුතු කළේය. අනතුරුව කොළඹ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි ඒ මහතාව ගුවන් හමුදා සම්ප්‍රදායානුකූලව අභිමානවත් සම්මාන මුර පෙළපාළියක් මඟින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
මෙම නිල සංචාරය අතරතුරදී ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානීයා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුන් ද හමුවී ද්විපාර්ශ්වික ආරක්ෂක වැඩපිළිවෙළවල් පිළිබඳව විශේෂ සාකච්ඡාවල නිරත විය.














