පවතින ගෝලීය දේශපාලනික සහ ආර්ථික වටපිටාව හමුවේ ශ්‍රී ලංකා රුපියල යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය වීම ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ව්‍යතිරේකී ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි. ඉන්ධන ආනයනය කරනු ලබන ආසියානු කලාපයේ මෙන්ම ලෝකයේ සෙසු බොහෝ රටවල් ද මේ වන විට තම දේශීය මුදල් ඒකකයන් අවප්‍රමාණය වීමේ පොදු ගෝලීය ප්‍රවණතාවයකට මුහුණ දී සිටින බව හෙතෙම පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී ඊයේ (18) දින පැවැත්වුණු විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය සහ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ආනයන මත යැපෙන සියලුම ආර්ථිකයන් වෙත මෙලෙස බලපෑම් එල්ල වී ඇති බව පවසන ඒ මහතා, දේශීය මූල්‍ය වෙළෙඳපොළේ ස්ථාවරත්වය රැකගැනීම සඳහා මහ බැංකුව අඛණ්ඩව මැදිහත් වන බව ද කියා සිටියේය.














