පවතින අයහපත් කාලගුණික thත්ත්වය සහ තේ නිෂ්පාදනය පහත වැටීම හමුවේ කුඩා තේ වතු හිමියන් මුහුණ දී ඇති ගැටලුවලට විසඳුම් ලෙස රජය රුපියල් මිලියන 2,500ක අතිරේක පොහොර සහනාධාරයක් ලබා දීමට තීරණය කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ලෝක තේ දින සැමරුම් වැඩසටහන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රජය භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 2,500ක් මේ වෙනුවෙන් වෙන් කර ඇති අතර, මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට අතිරේකව පොහොර වට දෙකක් ලබා දීමට කටයුතු යොදා ඇත. එහිදී පළමු වටයේ දී පොහොර මිටියකට රුපියල් 4,000ක සහනාධාරයක් ලබා දුන් අතර, දෙවන වටයේ දී එය රුපියල් 5,000 දක්වා ඉහළ නංවා තිබේ. මීට අමතරව වී ගොවීන් සඳහා වන පොහොර සහනාධාරය ද හෙක්ටයාරයකට රුපියල් 15,000 සිට රුපියල් 30,000 දක්වා දෙගුණයකින් වැඩි කර ඇති බව අමාත්‍යවරයා සිහිපත් කළේය.
දේශගුණික විපර්යාසයන් පාලනය කිරීමේ සීමිත හැකියාවක් පැවතුණ ද, පොහොර සහ රසායනික ද්‍රව්‍ය සඳහා උපරිම සහන ලබා දීමෙන් තේ නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය බලාපොරොත්තු වේ. පසුගිය අප්‍රේල් මාසයේදී දලු අස්වැන්නේ යම් වර්ධනයක් පෙන්නුම් කළ අතර, මෙම සහන හරහා ඉදිරි මාසවලදී නිෂ්පාදනය තවදුරටත් සාධනීය මට්ටමකට ගෙන ඒමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රාජ් ඔබේසේකර යන මහත්වරු ද එක්ව සිටියහ.












