එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා විදුලි බිල ඉහළ නැංවීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, පුනර්ජනනීය බලශක්තියට ප්‍රමුඛතාව ලබාදීම රජයේ මූලික ප්‍රතිපත්තිය බවත් බලශක්ති සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. මේ අතර, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගල්අඟුරු සැපයුම් ප්‍රමාද කරන නැව් සමාගම්වලින් ප්‍රමාද ගාස්තු (Demurrage) අය කිරීම ආරම්භ කර ඇති බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා අනාවරණය කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරුන් මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඉන්ධන මිල කෙරෙහි බලපෑමක් එල්ල වුවද, ලබන සැප්තැම්බර් දක්වා විදුලි ගාස්තු සංශෝධනය නොකරන බවට සහතික විය. එසේම, ඉදිරි මාස දෙක සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් දැනටමත් ලබා දී ඇති බැවින් රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට කිසිදු ඉඩක් නොමැති බව ද ඔහු පැවසීය. කුණු කසළවලින් විදුලිය නිපදවීම (Waste-to-Energy) ඒකකයකට රුපියල් 50–60ක් වැනි අධික පිරිවැයක් යන වාණිජමය වශයෙන් අභියෝගාත්මක කටයුත්තක් වුවද, සමාජීය ගැටලුවක් වන කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස එය ක්‍රියාත්මක කරන බවත්, රජයේ ප්‍රධාන අවධානය වඩාත් ලාභදායී සුළං සහ සූර්ය බලශක්තිය දෙසට යොමුව ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සැපයූ සමාගම්වලින් මේ වන විට ඩොලර් මිලියන 27ක දඩ මුදලක් අය කරගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා, එම ගල්අඟුරු භාවිතය නිසා බලාගාරවල යන්ත්‍ර සූත්‍රවලට හානියක් නොවන බවට විශේෂඥයන් සහතික කර ඇති අතර, සිදුවන්නේ අවශ්‍ය තාප ධාරිතාව ලබා ගැනීමට වැඩි ගල්අඟුරු ප්‍රමාණයක් වැය කිරීමට සිදු වීම පමණක් බවත් පැහැදිලි කළේය. එමෙන්ම, ඩිජිටල් විදුලි බිල්පත් ක්‍රමවේදය නිසා අපහසුතාවයට පත්වන තාක්ෂණික සාක්ෂරතාව අඩු හෝ වයස්ගත පුද්ගලයන්ට අවශ්‍ය නම් මුද්‍රිත බිල්පතක් හෝ තුණ්ඩුවක් ලබා දෙන ලෙසට ද උපදෙස් දී ඇතැයි ඔහු කීය.














