රට තුළ පැවැති හිඟයට පිළියමක් ලෙස හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 230ක් මිල දී ගැනීමට ඖෂධ ඇගයීම් කමිටුව නිර්දේශ කර තිබුණ ද, ඉන් ඖෂධ වර්ග 25ක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව දැනුවත් කර නොමැති බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ටී. ඒ. සුසන්ත අතුල කුමාර මහතා සාක්ෂි දෙමින් කියා සිටියේය.
ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ (Immunoglobulin) මෙරටට ආනයනය කර රුපියල් කෝටි 14ක රජයේ මුදල් වංචා කළේ යැයි කියන සිද්ධිය ඇතුළු චෝදනා 13ක් යටතේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව ඊයේ (19) විභාගයට ගත් අවස්ථාවේදී ඔහු මෙම සාක්ෂි ලබා දුන්නේය. මෙම නඩු විභාගය ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පැවැත්වේ.
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ, රටේ පැවැති දැඩි ඖෂධ හිඟය සහ ගබඩාවල ඖෂධ අවසන් වෙමින් පැවතීම හේතුවෙන් මෙම හදිසි ප්‍රසම්පාදන කටයුතු සිදුකළ බවයි. එම අවස්ථාවේදී ඉන්දීය ණය යෝජනා ක්‍රමය (Indian Credit Line) යටතේ ප්‍රතිපාදන ඉතිරිව තිබූ බැවින්, ඒවා අවසන් වීමට පෙර ඖෂධ මිලදී ගැනීමට සැලසුම් කළ ද පසුව අවශ්‍යතාව අනුව දේශීය සැපයුම්කරුවන්ගෙන් ද ඖෂධ මිලදී ගැනීමට තීරණය වූ බව ඔහු සඳහන් කළේය.
අදාළ හදිසි මිලදී ගැනීම් පිළිබඳ ප්‍රසම්පාදන කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ (SPC) සභාපති සරත් ලියනගේ යන මහත්වරුන් කටයුතු කළ බව සාක්ෂිකරු මෙහිදී හෙළි කළේය.














