දෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා අද (20) බීජිං අගනුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හමුවීමට නියමිතය. ලෝක බලවතුන් දෙදෙනෙකු අතර සිදුවන මෙම සුවිශේෂී හමුව, මේ වසර තුළ රාජ්‍ය නායකයින් දෙපළ මුහුණට මුහුණ හමුවන දෙවන අවස්ථාව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නිල හමුවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම, ආර්ථික සහයෝගීතාව සහ වත්මන් ජාත්‍යන්තර දේශපාලන අර්බුද පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. නිල සාකච්ඡාවලින් අනතුරුව, ජාත්‍යන්තර දේශපාලනයේ “පැරණි මිතුරන්” ලෙස සැලකෙන මෙම නායකයින් දෙපළ විශේෂ තේ පැන් සංග්‍රහයකට එක්වෙමින් වඩාත් සමීප සහ පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක නිරත වීමට ද සැලසුම් කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය චීන සංචාරය නිමවා සතියක කාලයක් ගතවීමටත් මත්තෙන් රුසියානු ජනාධිපතිවරයා මෙලෙස චීන ජනාධිපතිවරයා හමුවීම ගෝලීය දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව ඇත. මෙම හමුව හරහා ආසියානු කලාපයේ මෙන්ම ගෝලීය වශයෙන් ද නව දේශපාලන බලතුලනයක් නිර්මාණය වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.














