නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකය අලුත්වැඩියා කිරීමේදී සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා හේතුවෙන් නගර සභා රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.
අලුත්වැඩියාව සඳහා ඉදිරිපත් වූ ඇස්තමේන්තු දෙකක පරතරය පිළිබඳව මන්ත්‍රී මොහොමඩ් ඉම්රාන් මහතා කරුණු මතු කළේය. එහිදී එකී ඇස්තමේන්තුවල එකම වර්ගයේ ඇණයක් රුපියල් 175ක් සහ රුපියල් 2,500ක් ලෙස අසමාන මිල ගණන් යටතේ සඳහන් කර තිබීම දැඩි විවේචනයට ලක් විය.
තාක්ෂණික නිලධාරීන් මෙහිදී අධීක්ෂණ කටයුතු නිසි ලෙස ඉටු නොකළ බවට මන්ත්‍රීවරුන් චෝදනා කළ අතර, ඒ සඳහා නිශ්චිත පිළිතුරක් ලබාදීමට නිලධාරීන්ට නොහැකි විය. නගර සභා සභාපති අමල් ප්‍රියංකර මහතා කියා සිටියේ, පවතින දෝෂ නිසා ලක්ෂ 21ක මුල් ඇස්තමේන්තුව රුපියල් ලක්ෂ 16ක් දක්වා අඩු කර වැඩ නිම කළ බවයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව ඔහු තහවුරු කළ අතර, අදාළ ගෙවීම් දැනටමත් සමාගම වෙත සිදු කර ඇති බව ලේකම්වරයා පැවසීය.














