දැඩි ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින්, විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සහ පුද්ගලයන් ද සම්බන්ධ කරගනිමින් ජාතික ආණ්ඩුවක් හෝ නව පාලන ව්‍යුහයක් පිහිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා පවසන්නේ, ජනාධිපතිවරයා මේ වන විට පැලවත්ත මූලස්ථානය කේන්ද්‍ර කරගත් වාමාංශික පිරිස් විසින් පනවා ඇති දේශපාලන සීමාවන්ගෙන් මිදී නව ගමනක් යාමට තීරණය කර ඇති බවයි.
මෙම නව දේශපාලන ගමන සඳහා සහාය ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු කාර්ය මණ්ඩල නිලධාරීන්ට සහ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන්ට අමාත්‍ය විජිත හේරත් මහතා දුරකථනයෙන් ඇමතුම් ලබා දෙමින් සිටින බව වරුණ රාජපක්ෂ මහතා අනාවරණය කරයි. ඉදිරියේදී රාජ්‍ය සංස්ථා සභාපතිකම් සහ වගකීම් සඳහා ද විපක්ෂයේ දක්ෂයන් එක් කර ගැනීමට රජය අවධානය යොමු කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ, රජය දැඩි අසීරුතාවකට පත්ව ඇති බැවින් ඉදිරි මාස කිහිපය තුළ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂයට ආරාධනා කිරීමට ජනාධිපතිවරයාට සිදුවන බවයි. ආර්ථිකය විනාශ වෙමින් පවතින බවත්, ඉදිරි මාස පහ ඇතුළත ඩොලරයේ අගය රුපියල් 360 දක්වා ඉහළ යා හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.
ජනාධිපතිවරයා මෙම නව පියවර සඳහා ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ සහාය ද ලබා ගනිමින් සිටින බව වාර්තා වේ. කෙසේ වෙතත්, රජය තුළ සිටින ඇතැම් කණ්ඩායම්, විශේෂයෙන්ම පැලවත්ත මූලස්ථානය කේන්ද්‍ර කරගත් පිරිස් විපක්ෂය සමඟ එක්වීමට විරෝධය පළ කරන බවත්, මෙය ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ ගැටුමකට හේතු විය හැකි බවත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
















