කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) අය විය යුතු රුපියල් මිලියන 280කට අධික හිඟ ගාස්තු නොගෙවීම හේතුවෙන් ‘ඒරෝ ලංකා ටුවර්ස්’ සමාගමට අයත් බෝයිං B-727-200-F වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුව, 2026 මාර්තු 20 වැනිදා වන විට ගුවන් තොටුපළ ගොඩබෑමේ සහ නැවැත්වීමේ ගාස්තු ලෙස එම සමාගම රුපියල් 284,473,729.10ක මුදලක් ගෙවීමට පැහැර හැර ඇත. 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 101 වැනි වගන්තිය යටතේ මෙම යානය අත්අඩංගුවට ගැනීමට අධිකාරිය පියවර ගෙන ඇති අතර, අදාළ හිඟ මුදල් නොගෙවන්නේ නම් යානය විකිණීමට ද එම පනත මගින් නෛතික බලය ලැබී ඇත.
හිඟ මුදල්, පරිපාලන ගාස්තු, නීතිමය වියදම් සහ ගබඩා කිරීමේ ගාස්තු ඇතුළු සමස්ත මුදල සම්පූර්ණයෙන් අය කර ගන්නා තෙක් මෙම බෝයිං යානය සිවිල් ගුවන් සේවා අධිකාරියේ භාරයේ පවතිනු ඇත. ඒ අනුව, හිඟ මුදල් වහාම පියවන ලෙස අදාළ සමාගමට අවසන් නිවේදනයක් නිකුත් කර තිබේ.
















