වත්මන් ආණ්ඩුවේ නිසි කළමනාකරණයක් නොමැති වීම හේතුවෙන් රට නැවත වරක් බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුෂ්කර තීරණ ගනිමින් බෙල්ල මිරිකා හෝ බදු අය කර රට ගොඩනැඟූ බවත්, නමුත් වත්මන් පාලනය යටතේ ආර්ථිකය නැවත අගාධයකට යමින් පවතින බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේය. බදු නොගෙවන පිරිස වෙත අවධානය යොමු කරමින් බදු පද්ධතිය ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දුන් සේනසිංහ මහතා, ගල් අඟුරු සහ ඉන්ධන මිලදී ගැනීම්වල පවතින අක්‍රමිකතා හේතුවෙන් විශාල පාඩුවක් සිදුවන බවද කියා සිටියේය.
මහ බැංකු අධිපතිවරයා ද අනාගතය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, ඉදිරි මාස පහ තුළ ඩොලරයේ අගය රුපියල් 360 දක්වා ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීය. රජයේ නොහැකියාව නිසා රට අගාධයට යමින් පවතින බවත්, එය වැළැක්වීමට රජය සහාය ඉල්ලා සිටින්නේ නම් විපක්ෂය ලෙස ඊට සහාය දැක්වීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















