පොලිස්පතිතුමාගේ සෘජු උපදෙස් හා මඟපෙන්වීම මත මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් මාලාව මේ වන විට තවදුරටත් දැඩි කර තිබේ. දිවයිනේ විවිධ අපරාධවලට සම්බන්ධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත සැකකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා සියලුම පොලිස් කොට්ඨාස මට්ටමින්, ප්‍රාදේශීය බලප්‍රදේශ සහ පොලිස් ස්ථාන ඒකාබද්ධ කරමින් මෙම විශේෂ වැටලීම් අඛණ්ඩව දියත් කෙරේ.
මෙම දීපව්‍යාප්ත මෙහෙයුම යටතේ ඉකුත් මැයි 19 වන දින ගතවූ පැය 24ක කාලය තුළ පමණක් පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයින් විසිහත්දහස් නවසිය හැටඅට දෙනෙකු විශේෂ පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් හයසිය තිස්පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම පිරිස අතරින් පුද්ගලයින් විසිපස් දෙනෙකු අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන් වන අතර දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණය මඟහැර සිටි දින වරෙන්තුකරුවන් දෙසිය හැත්තෑ දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් එකසිය සැටඑක් දෙනෙකු ද මෙම වැටලීම්වලදී කොටුකර ගැනීමට පොලිසිය සමත්ව ඇත.
අපරාධ මර්දනයට සමගාමීව මහමඟ විනය තහවුරු කිරීම සහ රිය අනතුරු අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක රථවාහන මෙහෙයුම් ද දැඩි කර ඇති අතර, එහිදී බීමත්ව රිය පැදවූ රියදුරන් සිය දෙනෙකු සහ නොසැලකිලිමත් මෙන්ම අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කළ රියදුරන් එකසිය අට දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මීට අමතරව එම පැය 24ක කාලය තුළදී පමණක් දිවයින පුරා සිදුකළ පරීක්ෂාවලින් සමස්ත රථවාහන වැරදි හතරදහස් හත්සිය හතළිස් එකක් වාර්තා වී ඇති අතර, මෙමඟින් මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය කිරීමට සහ සාපරාධී සැකකරුවන් රැසක් නීතිය හමුවට පැමිණවීමට හැකිවූ බවත් මෙම විශේෂ මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.














