මෙරට පවතින භයානක මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක “එක්සත් ජාතියක්” (A Nation United) වැඩසටහනේ ජාතික මෙහෙයුම් කවුන්සිලය සහ වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ කැබිනට් අනුකමිටුව ඊයේ (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ හමුවක් පවත්වා තිබේ. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වන ලදී.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වී ඇත්තේ නීතියේ රැහැනට හසුකර ගන්නා විවිධ මත්ද්‍රව්‍ය ද්‍රව්‍යයන්, නඩු කටයුතු නිමවන තෙක් දීර්ඝ කාලයක් තබා නොගෙන කාලෝචිත ලෙසත් කඩිනමින්මත් විනාශ කර දැමීමට හැකිවන පරිදි පවතින නීති පද්ධතියට අවශ්‍ය සංශෝධන හඳුන්වා දීම කෙරෙහිය. මේ සඳහා වන නීතිමය ප්‍රතිසංස්කරණවල අවසන් අදියර කඩිනම් කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
නීති ප්‍රතිසංස්කරණ සඳහා වූ කැබිනට් අනුකමිටුව විසින් සකස් කරන ලද අදාළ පනත් කෙටුම්පත් සංශෝධන මෙහිදී ජාතික මෙහෙයුම් කවුන්සිලය වෙත ඉදිරිපත් කෙරුණු අතර, එම නීතිමය රාමුව තවදුරටත් ශක්තිමත් කළ යුතු ආකාරය පිළිබඳව කවුන්සිලයේ නිලධාරීන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ. මෙම යෝජිත නව නීති සංශෝධන කෙටුම්පත ඉදිරියේදී වැඩිදුර කටයුතු සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව (Legal Draftsman’s Department) වෙත සහ නීතිපති දෙපාර්තමේන්තුව (Attorney General’s Department) වෙත යොමු කිරීමට නියමිතය.
















