අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම හේතුවෙන් ගතවූ දින 10 තුළ ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමය පවසයි. මෙම තත්ත්වය හමුවේ ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය අද තීරණය කර ඇති අතර, ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 50 කින් සහ කිලෝග්‍රෑම් 1 ක පැකැට්ටුවක මිල රුපියල් 125 කින් ඉහළ යනු ඇත. මෙම නව මිල ගණන් සහිත කිරිපිටි තොග ලබන සතියේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.
ඩොලරයේ අගය ඉහළ යාම හමුවේ වෙළෙඳපොළේ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල තොග මිල ගණන් ද සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ. ඒ අනුව මීට දින 10කට පෙර රුපියල් 195ක් වූ සීනි කිලෝවක මිල රුපියල් 220ක් දක්වාත්, රුපියල් 225ක් වූ පරිප්පු කිලෝවක මිල රුපියල් 245ක් දක්වාත්, රුපියල් 145ක් වූ අර්තාපල් කිලෝවක මිල රුපියල් 160ක් දක්වාත් ඉහළ ගොස් ඇත. එමෙන්ම රුපියල් 150කට අලෙවි වූ බීලූණු කිලෝවක මිල රුපියල් 200ක් දක්වාත්, රුපියල් 900ක් වූ වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 1,000ක් දක්වාත්, රුපියල් 300ක් වූ සුදුළූනු කිලෝවක මිල රුපියල් 350ක් දක්වාත් ඉහළ දමා තිබේ. මීට අමතරව ආනයනික සහල් මිල ගණන් ද ඉහළ ගොස් ඇති අතර රුපියල් 225ක් වූ පොන්නි සහල් කිලෝවක් රුපියල් 245ක් ලෙසත්, රුපියල් 240ක් වූ සුදු පොන්නි සහල් කිලෝවක් රුපියල් 265ක් ලෙසත් අද දිනයේ සටහන් විය.














