මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් සතුව තිබූ දේශපාලන රැකවරණය මේ වන විට මුළුමනින්ම අවසන් කර ඇති අතර, මත්ද්‍රව්‍යවලට එරෙහි විමර්ශන සිදුකරන කිසිදු නිලධාරියෙකුට ඉහළින් කිසිදු බලපෑමක් එල්ල නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. අද (20) පස්වරුවේ මඩකළපුව වෙබර් ක්‍රීඩාංගණයේ පැවැති, විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන “රටම එකට” මඩකළපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු අවධාරණය කළේ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා දැනට පවතින නීති රාමුව ප්‍රමාණවත් නොවන්නේ නම්, නව නීති සම්පාදනය කරමින් ආරක්ෂක අංශ වෙත අවශ්‍ය උපරිම බලය ලබාදීමට රජය සූදානම් බවයි.
රජයේ ශක්තිමත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් ලංකා ඉතිහාසයේ වැඩිම ධන අතිරික්තයක් සහිත භාණ්ධාගාර ගිණුමක් වත්මන් රජය සතුව පවතින බව ජනාධිපතිවරයා පැවසීය. ඒ හේතුවෙන් දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් කෝටි 50,000ක මුදලක් වෙන් කිරීමටත්, මැදපෙරදිග යුද තත්ත්වය නිසා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ජනතාව රැකගැනීම සඳහා රුපියල් කෝටි 10,000ක මුදලක් වෙන් කිරීමටත් රජයට හැකි වී තිබේ. ඒ අනුව, සෑම ඉන්ධන ලීටරයකටම රුපියල් 100ක සහනාධාරයක් රජය විසින් ලබාදෙන අතර, විදුලි පාරිභෝගිකයන්ගෙන් 95%ක් වෙනුවෙන්ම විදුලි බිල ඉහළ නොදමා එම සහනාධාරය ලබන සැප්තැම්බර් දක්වා දීර්ඝ කිරීමට රුපියල් කෝටි 1,500ක වැයබරක් ආණ්ඩුව දරන බව හෙළි කළේය.
කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළේ ඩොලරය ශක්තිමත් වීම, සංචාරකයන් පැමිණීම 29%කින් පහත වැටීම, අපනයන ඉල්ලුම අඩුවීම සහ විදේශ සංක්‍රාම පහත වැටීම හේතුවෙන් ඩොලරයේ තෙරපුමකට රට මුහුණ දී සිටී. විශේෂයෙන්ම ඉන්ධන ආනයන පිරිවැය පෙබරවාරි මාසයේ පැවැති ඩොලර් මිලියන 98 සිට මේ මැයි මාසය වන විට ඩොලර් මිලියන 522 දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මේ නිසා IMF වැඩසටහන සමඟ උපදෙස් ගනිමින් කෙටිකාලීන පියවර ගන්නා බවත්, ඉන්ධන සහ ආනයනික භාණ්ඩ භාවිතය සීමා කරමින් රටින් පිටතට ගලා යන ඩොලර් ප්‍රමාණය අවම කරගැනීමට දායක වන ලෙසත් ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම ලබන ජනවාරි මාසයේදී රාජ්‍ය සේවකයින් සඳහා සැලසුම් කළ පරිදි වැටුප් වැඩිවීමක් සිදුවන බව ද සහතික කළේය.














