කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආදාරදෙණිය ග්‍රාම නිලධාරී වසමේ, ආදාරදෙණිය සිට ඉඹුල්වරාව දක්වා දිවෙන මාර්ගය වසර ගණනාවක් තිස්සේ දැඩි ලෙස අබලන්ව පැවතීම නිසා ගම්වාසීහු දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති.
මෙම මාර්ගයේ කිලෝමීටරයක පමණ කොටසක් මේ වන විට මඩ වගුරක් බවට පත්ව තිබීම හේතුවෙන් පා ගමනින්වත් ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. දෙණියාය-රත්නපුර මාර්ගයට පිවිසීමට ඇති එකම විකල්ප මාර්ගය මෙය වන අතර, මාර්ගයේ පවතින අබලන් තත්ත්වය මත හදිසි රෝගී තත්ත්වයන්හිදී රෝහල් වෙත යෑමේදී බාධා මතුවීම නිසා රෝගීන් කිහිප දෙනෙකුගේ ජීවිත පවා අහිමි වී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මාතර දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටි මෙම මාර්ගය කොටපොළ ප්‍රාදේශීය සභාවට අයත් වන අතර, එය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස බලධාරීන්ගෙන් ගම්වාසීහු ඉල්ලා සිටිති.














