රත්නපුර පොලිස් වසමට අයත් වෙරළුගහයටිය ප්‍රදේශයෙන් ගලාබසින කළු ගඟේ තිබී අභිරහස් ලෙස පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළසිරුරක් ඊයේ (20) දින උදෑසන කාලයේදී රත්නපුර පොලිසිය විසින් සොයාගෙන තිබේ. ගඟේ මිනිස් සිරුරක් පාවෙමින් පවතින බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු හදිසි තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මළසිරුර ගොඩගෙන විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
පොලිසිය පවසන පරිදි මෙලෙස මියගොස් ඇති පුද්ගලයා අවුරුදු 45ත් 50ත් අතර වයස් සීමාවක පසුවන අයෙකි. දැනට මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සහ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා රත්නපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. මරණකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැක කටයුතු කිසිවක් පවතින්නේ ද යන්න සහ මෙය දියේ ගිලීමකින් හෝ ඝාතනයක් නිසා සිදු වූවක් ද යන්න සෙවීමට රත්නපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.














