වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පවතින වැඩපිළිවෙළ අවසන් වූ පසු ක්‍රියාත්මක විය යුතු “අනුප්‍රාප්තික වැඩසටහනක්” (Successor Programme) සම්බන්ධයෙන් රජය වහාම සාකච්ඡා ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කරයි. දැනට පවතින එකඟතා වෙනස් කිරීම වෙනුවට, ඉදිරි අවදානම් කළමනාකරණය කරගැනීම සඳහා මෙම පියවර ගත යුතු බව ඔහු පෙන්වා දෙයි.
දැනට ලංකාව සතුව පවතින්නේ ඇමරිකානු ඩොලර් බිලියන 7ක දළ නිල විදේශ සංචිතයක් වුවද, 2027 මාර්තු වන විට IMF ඉලක්කය ඩොලර් බිලියන 14.2ක් දක්වා ඉහළ නැංවීම බවත්, ඒ සඳහා ඉදිරි මාස 12 තුළ මසකට ඩොලර් මිලියන 600 බැගින් සංචිත එකතු කිරීම ප්‍රායෝගික නොවන බවත් විපක්ෂ නායකවරයා පවසයි. පසුගිය වසර තුළ රුපියල 14%කින් අවප්‍රමාණය වීම, පෙට්‍රල් මිල රුපියල් 410 දක්වා ඉහළ යෑම සහ මැදපෙරදිග අර්බුදය හමුවේ වාර්ෂිකව ලැබෙන ඩොලර් බිලියන 8.1ක විදේශ ප්‍රේෂණවලට එල්ල වී ඇති අවදානම හේතුවෙන් රට නැවතත් ආර්ථික අවදානමකට ලක්විය හැකි බව ඔහු අනතුරු අඟවයි. ඩොලර් බිලියන 7ක සංචිත පවතින ශක්තිමත් මොහොතක සාකච්ඡා මේසයට යාමෙන් රටට හිතකර කොන්දේසි ලබාගත හැකි බැවින්, 2027 මාර්තු ඉලක්කය සපුරා ගැනීමට අපොහොසත් වුවහොත් ක්‍රියාත්මක කරන විකල්ප සැලැස්ම (Contingency Plan) රටට හෙළි කරන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා සිටියි.














