මස්කෙළිය ප්‍රදේශයේ අද (21) සිදුකළ විශේෂ ඒකාබද්ධ රථවාහන පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු මට්ටමේ පැවති වාහන 28ක් දින 30ක කාලයකට තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන්, හැටන් කොට්ඨාස රථවාහන අංශය සහ මස්කෙළිය පොලීසිය ඒකාබද්ධව මස්කෙළිය-ශ්‍රී පාද මාර්ගය, හැටන් මාර්ගය, සාමිමලේ මාර්ගය ඇතුළු අතුරු මාර්ග කිහිපයකදීම මෙම හදිසි පරීක්ෂාවන් සිදුකර තිබේ.
එහිදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ, කැබ් රථ සහ ත්‍රීරෝද රථ ඇතුළු වාහන 40ක් දැඩි පරීක්ෂාවට ලක් කෙරුණු අතර ඉන් වාහන 28කම බරපතළ අඩුපාඩු නිරීක්ෂණය වී ඇත. වාහනවල මුල් ආකෘතිය වෙනස් කිරීම, අනතුරුදායක ලෙස බාහිර අමතර කොටස් සවි කිරීම සහ ධාවනයේදී අතිශය තීරණාත්මක වන තිරිංග පද්ධති (Brakes) නිසි ලෙස ක්‍රියාත්මක නොවීම යන චෝදනා යටතේ මෙම වාහනවල ධාවන බලපත්‍ර මෝටර් රථ පරීක්ෂකවරයා භාරයට ගෙන තිබේ. මෙම වාහනවල පවතින අඩුපාඩු දින 30ක් ඇතුළත සම්පූර්ණයෙන්ම සපුරා, නැවත අලුත්වැඩියා කර මෝටර් රථ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා තෙක් ඒවා ධාවනය කිරීම සපුරා තහනම් වේ.














