දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ගොවි, ධීවර සහ රාජ්‍ය සේවකයන් ඇතුළු සියලුම පාර්ශ්වයන්ට, මෙතෙක් ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් ලබා නොදුන් අයුරින් වන්දි මුදල් ගෙවීමට වත්මන් රජය පියවර ගත් බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
මොරගොල්ලාගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ලෝක ආහාර වැඩසටහන යටතේ ලැබුණු එම්.ඕ.පී. (MOP) පොහොර මෙට්‍රික් ටොන් 35ක් ගොවීන් 138 දෙනකුට බෙදා දීමේ අවස්ථාවට ඔහු සහභාගි විය. මොරගොල්ලාගම ප්‍රදේශයේ යල කන්නයේ වී වගා කළ සියලුම ගොවීන් සඳහා අක්කරයකට පොහොර කිලෝ 10 බැගින් බෙදා දීමට ද එහිදී පියවර ගැනිණි.
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ තමන් බලයට පත්වන විට වගා හානි සඳහා කිසිදු වන්දියක් ගෙවා නොතිබූ බවයි. පසුව රජය මගින් යල කන්නයේ සහ මහ කන්නයේ වගා හානි සඳහා සියලුම ගොවීන්ට වන්දි ගෙවා අවසන් කළ බව ඔහු පැවසීය. එසේම, පෙර පැවති රජය වී කිලෝවකට රුපියල් 105ක මිලක් ලබා දෙන බව පැවසුවද එය ඉටු නොකළ බවත්, තම රජය බලයට පත්වීමෙන් පසු වී ගබඩා ප්‍රතිසංස්කරණය කර ගොවීන්ට වී සඳහා සාධාරණ මිලක් ලබා දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.














