අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින්, ඔවුන් වෙත මාසික ශිෂ්‍යාධාරයක් පිරිනැමීම සඳහා ජනාධිපති අරමුදලේ අවධානය යොමුව තිබේ.
පෙරේදා (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ප්‍රමුඛ ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹිණි.
මෙම යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඒ සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දීමට ලොතරැයි මණ්ඩල නිලධාරීන් සිය කැමැත්ත පළ කළහ. මෙම ශිෂ්‍යාධාර වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇත.
ජනාධිපති අරමුදලට අරමුදල් සම්පාදනය කිරීමේදී ලොතරැයි මණ්ඩලවලින් විශාල දායකත්වයක් ලැබෙන නමුත්, එම ආදායම් උපයා දීමට වෙහෙසෙන ලොතරැයි අලෙවිකරුවන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු නොවීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ඔවුන්ගේ සේවය ඇගයීමට සහ ජීවන බරට සවියක් වීමට ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය දැනටමත් මේ සඳහා අනුමැතිය ලබා දී ඇත.
මෙම අවස්ථාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී. ඇන්ටන් පෙරේරා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඒ.එම්. අරීෆ්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඩබ්.කේ.ඒ.ඒ. ජයරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.














