ස්පාඤ්ඤය තුළ නීත්‍යානුකූල නොවන ලෙස රැඳී සිටින සංක්‍රමණිකයන් ලක්ෂ පහකට ආසන්න පිරිසකට මෙරට රැඳී සිටීම සඳහා නීත්‍යානුකූල අවසරය ලබා දීමේ දැවැන්ත වැඩපිළිවෙළක් සමඟින්, ඔවුන්ව එරට ශ්‍රම වෙළඳපොළේ පවතින පුරප්පාඩු සඳහා ඍජුවම සම්බන්ධ කිරීමේ නව සැලසුමක් හඳුන්වා දීමට ස්පාඤ්ඤ රජය තීරණය කර තිබේ. ස්පාඤ්ඤයේ ජ්‍යෙෂ්ඨතම ආගමන විගමන නිලධාරියා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, මෙම වැඩසටහන හරහා නව ශ්‍රමිකයන් අවශ්‍ය ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර සමඟ පරිපාලනමය වශයෙන් අත්වැල් බැඳගනිමින් ඔවුන්ට රැකියා අවස්ථා සපුරා දීමට බලාපොරොත්තු වන බවයි. රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම අරමුණු කරගනිමින් පසුගිය ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද මෙම වැඩසටහනේ පළමු මාසය තුළදීම අයදුම්පත් ලක්ෂ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී ඇති අතර, අයදුම්පත් මිලියනයක් දක්වා වුවද හැසිරවීමේ ධාරිතාවක් තමන් සතු බව ස්පාඤ්ඤ බලධාරීන් පවසයි.
මෙම නව සංක්‍රමණික ප්‍රතිපත්තිය ස්පාඤ්ඤයේ මෙන්ම සමස්ත යුරෝපයේම සිටින අන්ත දක්ෂිණාංශික දේශපාලන නායකයන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇතත්, ස්පාඤ්ඤයේ සමාජවාදී සන්ධාන රජය සිය තීරණය දැඩිව ආරක්ෂා කරමින් සිටියි. ඔවුන් පෙන්වා දෙන්නේ ස්පාඤ්ඤයේ සාමාන්‍ය ජනගහනය වේගයෙන් වයස්ගත වෙමින් පවතින පසුබිමක, මෙලෙස තරුණ ශ්‍රම බලකායක් රට තුළට ඒකාබද්ධ කරගැනීම මඟින් අනෙකුත් යුරෝපීය රටවලට වඩා වේගවත් ආර්ථික වර්ධනයක් අඛණ්ඩව පවත්වා ගැනීමට ස්පාඤ්ඤයට හැකිවන බවයි.














