ලෝක පූජිත නාස්කාර් (NASCAR) මෝටර් රථ ධාවන ශූරයෙකු වන කයිල් බුෂ් (Kyle Busch) හදිසියේ ඇතිවූ දැඩි අසනීප තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මියයන විට 41 වැනි වියෙහි පසුවූ ඔහු, නාස්කාර් රේසිං ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම මෙන්ම දක්ෂතම මෝටර් රථ ධාවකයෙකු ලෙස කාගේත් ගෞරවයට පාත්‍ර වූවෙකි. බුෂ්ගේ පවුලේ සාමාජිකයන්, රිචඩ් චිල්ඩ්‍රස් රේසිං කණ්ඩායම සහ නාස්කාර් ආයතනය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහුගේ අභාවය තහවුරු කර ඇතත්, මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත. කෙසේ වෙතත්, ඔහු දැඩි ලෙස රෝගාතුර වී රෝහල්ගත කර සිටි බව මරණය සිදුවීමට පැය කිහිපයකට පෙර ඔහුගේ නියෝජිතයන් විසින් මාධ්‍ය වෙත දන්වා තිබුණි.
සිය දශක දෙකකට අධික දීර්ඝ ක්‍රීඩා ජීවිතය තුළ නාස්කාර් කුසලාන තරගාවලි ශූරතා (NASCAR Cup Series) දෙකක් සහ ජයග්‍රහණ 63ක් අත්කර ගැනීමට කයිල් බුෂ් සමත් විය. ඔහු නාස්කාර් ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ ලැබූ ධාවකයන්ගේ ලැයිස්තුවේ 9 වැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර, ඔහුගේ ආක්‍රමණශීලී මෙන්ම දක්ෂ ධාවන විලාසය නිසාම ලොව පුරා “රවුඩි නේෂන්” (Rowdy Nation) නමින් හැඳින්වෙන දැවැන්ත ප්‍රේක්ෂක පිරිසක් ඔහු වටා රොක්ව සිටියහ. ඉදිරි සති අන්තයේ අමෙරිකාවේ චාලට් මෝටර් ස්පීඩ්වේ හි පැවැත්වීමට නියමිතව තිබූ සුප්‍රසිද්ධ ‘කෝකා කෝලා 600’ තරගයටද ඔහු සහභාගී වීමට නියමිතව තිබූ පසුබිමක මෙම හදිසි අභාවය සිදුවීම මෝටර් රථ ක්‍රීඩා ලෝකය දැඩි කම්පනයකට පත්කර ඇත. ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ඔහුගේ සමකාලීන ධාවකයන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය බලවත් ශෝකය පළකරමින් කියා සිටින්නේ, මෙවැනි අසමසම ක්‍රීඩකයෙකුගේ අහිමි වීම කිසිසේත්ම පියවිය නොහැකි දැවැන්ත පාඩුවක් බවයි.














