වසර 30කට පෙර සිදුවූ සිවිල් ගුවන් යානා දෙකක් බිම හෙළීමේ සිදුවීමකට අදාළව, කියුබාවේ හිටපු ජනාධිපති සහ විප්ලවීය නායකයෙකු වන රාාවුල් කැස්ත්‍රෝට (Raul Castro) එරෙහිව මිනීමැරීමේ චෝදනා මත නඩු පැවරීමට ඇමරිකාව ගත් තීරණයට විරෝධය පළ කරමින් දහස් සංඛ්‍යාත කියුබානු වැසියන් අද (22) උදෑසන හවානා නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරත වූහ.ඇමරිකාව සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දැඩි ලෙස පළුදු වී ඇති පසුබිමක, වත්මන් කියුබානු රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව සූර්ය උදාවත් සමඟම හවානා වෙරළ තීරයේ මෙම විරෝධතාව ආරම්භ විය. වයස්ගත තත්ත්වයේ පසුවන 94 හැවිරිදි රාාවුල් කැස්ත්‍රෝ මහතා මෙම අවස්ථාවට සහභාගී වී නොසිටි අතර, කියුබානු ජාතික වීරයෙකු සහ හිටපු ඔත්තුකරුවෙකු වන ගෙරාඩෝ හර්නන්ඩස් (Gerardo Hernández) විසින් එහිදී කැස්ත්‍රෝගේ විශේෂ පණිවිඩයක් ජනතාව වෙත ඉදිරිපත් කළේය. “මා ජීවත්ව සිටින තාක් කල්, විප්ලවයේ පෙරමුණේම රැඳී සිටිනවා” යැයි කැස්ත්‍රෝ එහිදී සඳහන් කර තිබුණි.කියුබානු ධජ ලෙළදවමින් පැයකට ආසන්න කාලයක් පැවැති මෙම විරෝධතා රැළිය සඳහා කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් (Miguel Diaz-Canel) සහ අග්‍රාමාත්‍ය මැනුවෙල් මරේරෝ (Manuel Marrero) ද එක්ව සිටියහ. මීට අමතරව රාාවුල් කැස්ත්‍රෝගේ දියණිය වන මරියෙලා කැස්ත්‍රෝ, පුත් ඇලෙක්සැන්ඩ්‍රෝ කැස්ත්‍රෝ සහ ඔහුගේ ආරක්ෂකයා ලෙස කටයුතු කරන මුනුපුරු රාාවුල් රොද්‍රිගස් කැස්ත්‍රෝ (Raúl Rodríguez Castro) ඇතුළු පවුලේ සාමාජිකයන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටීම සුවිශේෂී විය.පසුගිය බදාදා ඇමරිකාව විසින් රාාවුල් කැස්ත්‍රෝට එරෙහිව මෙම චෝදනා පත්‍රය ගොනු කළේ පදනම් විරහිත කරුණු මත බව කියුබානු රජය පවසයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් කියුබානු රජය පෙරළා දැමීමේ අරමුණින් සහ රට ආක්‍රමණය කිරීම සඳහා ව්‍යාජ නිදහසට කරුණක් නිර්මාණය කරගැනීමේ අරමුණින් මෙම නීතිමය පියවර ගෙන ඇති බවට කියුබාව ඍජුවම චෝදනා කරයි.














