ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ (Condominium Management Authority) පුරප්පාඩුව පැවති තනතුරු 38ක් සඳහා නව නිලධාරීන් බඳවාගෙන ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (22) සිදු කෙරුණි. බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි නාගරික සංවර්ධන අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදී නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
මෙම බඳවා ගැනීම් සහ ආයතනික පසුබිම පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙසේය:
පසුගිය 2026 අප්‍රේල් මස 09 වන දින පැවති 198 වැනි අධ්‍යක්‍ෂ මණ්ඩල අනුමැතියට අනුව අයදුම්පත් කැඳවා, විනිවිදභාවයෙන් යුතු විධිමත් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ඔස්සේ පළමු අදියර යටතේ මෙම නව නිලධාරීන් පිරිස බඳවාගෙන තිබේ. මෙරට නාගරික ජනතාවගේ නිවාස ගැටලුවට විසඳුම් ලෙස ඉදිකර ඇති මහල් නිවාස සංකීර්ණවල පාලනය, පරිපාලනය සහ නඩත්තු කටයුතු විධිමත්ව සිදු කිරීම මෙම අධිකාරියේ ප්‍රධාන කාර්යභාරය වේ. ආරම්භයේදී ‘පොදු පහසුකම් මණ්ඩලය’ ලෙස ක්‍රියාත්මක වූ මෙම ආයතනය 2005 වසරේදී ‘සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය’ ලෙස ප්‍රතිසංස්කරණය කර ඇත.
මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තරණි ගමගේ මහත්මිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ජේ. නිශාන් නානායක්කාර, සාමාන්‍යාධිකාරී වාස්තුවිද්‍යාඥ එම්. ටී. කපිල ප්‍රියන්ත, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නලින් ගන්කන්ද යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ පත්වීම්ලාභීන් පිරිසක් එක්ව සිටියහ.














