ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් අමර් ප්‍රීත් සිං (Air Chief Marshal Amar Preet Singh) මහතා ඊයේ (21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.
නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානීවරයාව බටහිර නාවික විධානයේ ආඥාපතිවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදා සම්මාන ආචාර මුරයක් (Guard of Honour) මඟින් ඔහු වෙත උත්තමාචාර පිරිනැමීමට කටයුතු කෙරුණි. ඉන් පසු නාවික හමුදාධිපතිවරයා විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු කළමනාකරණ මණ්ඩලයේ (Board of Management) උසස් නිලධාරීන් පිරිස ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී වෙත හඳුන්වා දෙන ලදී.
හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව පැවති මෙම නිල හමුවේදී, ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කලාපීය ආරක්ෂක කරුණු සහ දෙරටේ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගැනිණි. මෙම සුවිශේෂී නිල හමුව සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.














