රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරා ගත් පුද්ගලයින් දෙදෙනෙකු පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සතුව තිබී පවුම් 13ක බරින් යුත් අත් පළඳනාවක්, පවුම් 10ක රන් දම්වැලක්, රිදී මුදුවක්, රන් මුදුවක් සහ කරාබු යුගලක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මීට අමතරව, එම භාණ්ඩ උගස් කිරීමෙන් ලබා ගත් රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන්ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, මොවුන් ඉකුත් මාස කිහිපය තුළ හොරණ පොලිස් වසමේ නිවාස තුනකින් ද මෙලෙස රන් භාණ්ඩ සොරාගෙන ඇති බවයි. සැකකරුවන් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූවන් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















