රාජ්‍ය පරිපාලන ව්‍යුහයන් සකස් කිරීමේදී ඒවා ජාතීන් අනුව හෝ දේශපාලන පොරොන්දු මත පදනම්ව සිදු නොකළ යුතු බවත්, භූමියේ විශාලත්වය සහ ජනගහනය වැනි පොදු නිර්ණායකයන් ඒ සඳහා පාදක කරගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (23) පැවැත්වුණු අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මුලසුන දක්වමිනි. මෙම සාකච්ඡාවේදී නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු මෙන්ම වෙරළ තීරය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ද සුවිශේෂී තීරණ රැසකට එළඹ තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ 2026 වර්ෂය සඳහා වන අයවැය මඟින් අම්පාර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 22,000 ක අතිවිශාල මුදලක් වෙන් කර ඇති බවයි. එම ප්‍රතිපාදන මෙම වසර තුළදීම නිසි ලෙස කළමනාකරණය කරමින් ජනතාව වෙත උපරිම ප්‍රතිලාභ අත්කර දීම සමස්ත රාජ්‍ය නිලධාරීන්ගේ මූලික වගකීමක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම මේ දිනවල දැඩි ලෙස මුහුදු ඛාදනයට ලක්වන නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරගැනීම සහ එම වෙරළ තීරයට හානියක් නොවන සේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් අතර, නැගෙනහිර පළාතේ ඉඩම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට ද පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
















