ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ (High Performance Centre) උපදේශකවරයා ලෙස කටයුතු කළ සනත් ජයසූරිය මහතා, මෙම මාසය අවසානයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අලුතින් පත් කළ ක්‍රිකට් පරිවර්තන කමිටුව වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, තමන් දරන උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ උපදේශක ධුරය සහ මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරය එකිනෙකට පටහැනි බවට (Conflict of Interest) ඇතැම් පාර්ශවයන් චෝදනා නඟන බව තමන්ට දැනගන්නට ලැබුණු බවයි.
එම චෝදනාවලට දැඩි පිළිතුරක් ලබාදෙමින් සනත් ජයසූරිය මහතා අවධාරණය කර ඇත්තේ, තමන් මෙම වගකීම් භාරගත්තේ රැකියාවක් කිරීමේ අවශ්‍යතාවය මත නොව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව සිටි අසීරු අවස්ථාවක රට වෙනුවෙන් කළ ඉල්ලීමකට ගරු කිරීමක් වශයෙන් බවයි.
තමන් උපන් මාතර දිස්ත්‍රික්කයේ බිම් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම තමන්ට සැමදා සමීප වගකීමක් බව පෙන්වා දෙන ඔහු, නව පාලනාධිකාරිය මෙම තනතුරු ද්විත්වය ගැටලුකාරී ලෙස දකින්නේ නම්, ක්‍රිකට් ආයතනයේ නිලතල දැරීමට වඩා මාතර ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් කැපවීමට තමන් කැමති බව දන්වා ඇත. නව ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ඉදිරි වැඩපිළිවෙලට බාධාවක් වීමට තමන්ට අනවශ්‍ය බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සහ ක්‍රීඩකයින්ට සහයෝගය දැක්වීමට තමන්ට නිල තනතුරු අවශ්‍ය නොවන බවත් පවසමින් සනත් ජයසූරිය මහතා සිය ලිපිය මඟින් තනතුරෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දී තිබේ.
















