ඇමරිකානු එක්සත් ජනපදය විසින් ඉරානය ඉලක්ක කරගනිමින් තවදුරටත් දැවැන්ත මිලිටරි ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වීමත් සමඟ, ඉරාන රජය එරට බටහිර කලාපයේ ගුවන් අවකාශය තාවකාලිකව වසා දැමීමට සෙනසුරාදා (අද) පියවර ගෙන තිබේ. දෙරට අතර පවතින උග්‍ර යුදමය නොසන්සුන්තාවය සමනය කිරීම සඳහා තිරය පිටුපස රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක ඉරානය මෙම හදිසි තීරණය ගෙන ඇත.
ඉරාන සිවිල් ගුවන් සේවා සංවිධානය (Civil Aviation Organization) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තෙහෙරාන් ගුවන් තොරතුරු කලාපයට (Tehran’s Flight Information Region) අයත් බටහිර අංශයේ පිහිටි සියලුම ගුවන් තොටුපළවල සිවිල් ගුවන් ගමන් බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි. බලධාරීන්ට අනුව, මේ වන විට සමස්ත ඉරානය පුරාම ක්‍රියාත්මක වන්නේ තෙහෙරාන් නුවර මෙහ්රාබාද් (Mehrabad) සහ ඉමාම් ඛොමේනි (Imam Khomeini) ගුවන් තොටුපළවල් මෙන්ම ඉස්ෆහාන් (Isfahan) සහ යාස්ඩ් (Yazd) ඇතුළු ගුවන් තොටුපළවල් 8ක් පමණි. එම ගුවන් තොටුපළවල ද මෙහෙයුම් කටයුතු සූර්ය උදාවේ සිට සූර්ය අස්තය දක්වා වන දහවල් කාලයට පමණක් සීමා කර ඇති අතර, සෑම ගුවන් ගමනක් සඳහාම ගුවන් සේවා සමාගම් විසින් වෙන වෙනම විශේෂ අනුමැතියක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.
ගෝලීය මාධ්‍ය ජාලයන් වන ‘Axios’ සහ ‘CBS News’ වාර්තා කරන්නේ, ට්‍රම්ප් පරිපාලනය විසින් ඉරානයට එරෙහිව ඉදිරි පැය කිහිපය තුළ නව ප්‍රහාර මාලාවක් දියත් කිරීම පිළිබඳව දැඩි ලෙස සලකා බලමින් සිටින බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා උදෑසන සිය ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශකයින් හමුවී ඉරාන දේශසීමාවේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. අනතුරුව ජනාධිපතිවරයා නිවේදනය කළේ නිව් ජර්සි හි පැවැත්වීමට නියමිතව තිබූ සිය වැඩිමහල් පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්ගේ (Donald Trump Jr.) විවාහ මංගල්‍යයට සහභාගී වීම පවා අවලංගු කර, “රාජ්‍ය තාන්ත්‍රික හදිසි කටයුතු” (Matters of State) වෙනුවෙන් තමන් වොෂින්ටන් අගනුවරම රැඳී සිටින බවයි.














