දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වූ මහනුවර, හන්තාන සඳගිරි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භය වෙත පිවිසෙන ප්‍රධාන දොරටු බිඳ, එහි තැන්පත් කර තිබූ රන්මාල, මැණික් ඇතුළු වටිනා පූජා භාණ්ඩ රැසක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබේ. මෙම අවාසනාවන්ත සිදුවීම අද (23) උදෑසන වාර්තා වී ඇති අතර, විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමිපාණන් විසින් වහාම ක්‍රියාත්මක වී මේ පිළිබඳව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
උදෑසන කාලයේදී චෛත්‍ය වන්දනා කිරීමට පැමිණි බැතිමතුන් පිරිසක් විසින් ගර්භයේ දොරටු බිඳ දමා ඇති බව මුලින්ම දැක විහාරාධිපති හිමියන්ව දැනුවත් කර තිබේ. අනතුරුව ආරක්ෂක අංශ නිලධාරීන් සමඟ විහාරාධිපති හිමියන් එම ස්ථානයට වැඩම කර පරීක්ෂා කර ඇති අතර, එහිදී තහවුරු වී ඇත්තේ ගර්භයට ඇතුළු වන ප්‍රධාන දොරටු තුනේ සවි කර තිබූ අගුල් (Locks) සම්පූර්ණයෙන්ම බිඳ දමා සොරකම සිදු කර ඇති බවයි. කෙසේ වෙතත්, සොරකම සිදු කළ පිරිසට එහි තිබූ වටිනාම ද්‍රව්‍ය කිහිපයක් මඟහැරී ඇති අතර, චෛත්‍යයේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතූන් වහන්සේලා සහ ප්‍රධාන රන් කරඬුවට කිසිදු හානියක් සිදු නොවී සුරක්ෂිතව පවතින බව උන්වහන්සේ තහවුරු කළහ.
“උදේ චෛත්‍ය බලන්න ගිය අය තමයි අපිට කිව්වේ දොර කඩලා කියලා. අපිට ලොකු බයක් සහ සැකයක් තිබුණා ඇතුළේ තියෙන ප්‍රධාන රන් කරඬුව සහ සඳගිරි සෑයේ තැන්පත් කරලා තිබුණ සර්වඥ ධාතූන් වහන්සේලා ගැන. ආරක්ෂක අංශයේ නිලධාරීන් එක්ක අපි ගිහින් බලනකොට ඇතුළු වෙන ප්‍රධාන දොරටු තුනේ ලොක් තුනක් තියෙනවා, ඒ ටික සම්පූර්ණයෙන්ම කඩලා තමයි ඇතුල් වෙලා තියෙන්නේ. හැබැයි ඒ අයට වටිනා කියන ප්‍රධාන දේවල් මඟහැරිලා තියෙනවා.
මෙතැනින් පැහැරගෙන ගිහින් තියෙන්නේ රට වටින් වන්දනා කරන්න පැමිණි සැදැහැවතුන් විටින් විට පූජා කරපු වටිනා ද්‍රව්‍යයි. ධාතු කරඬුව ඇතුළේ තිබුණ මැණික් ගල් කිහිපයක් අරගෙන ගිහින් තිබුණා. ඒ වගේම ධාතු නිධානෝත්සවයෙන් අනතුරුව සැදැහැවතුන් පූජා කරලා, පලන්දලා තිබුණ රන් මාල 10-12ක් විතර ප්‍රමාණයක් තමයි මේ අය පැහැරගෙන ගිහින් තියෙන්නේ.”













